Sinhala Wesak Nisadas | වෙසක් නිසදැස් | Sinhala Wesak Kavi | වෙසක් කවි / නිසදැස් | Sinhala Vesak Kavi | Sinhala Vesak Day Wishes Quotes

බුදු රැස් ගලයි සඳ මුහුණද හිනස්සන
වනමල් රුව සුවඳ දිසි නෙත් සනස්සන
කෝවිඩ් වසංගත රකුසා පරද්දන
බොදු පිළිවෙත්ම සපුරමු ලැබ වෙසක් දින


පුර පොහො වෙසක් දින ලුම්බිණියෙ සල්වනේ
පෙර පින් ලෙසට බෝසත් කුමරු බිහිවුණේ
ගෝතම නමින් සිරි මහ බෝරද සෙවණේ
බුදු බව ලැබුවෙද උත්තම වෙසක් දිනේ

පිරිනිවනද සිදු වූ මේ උත්තම දවස
සමරනු නො දෙන බොදු දනහට පෙර විලස
කෝවිඞ් උවදුරින් දිවි සුරකිනු පිණිස
දිවි රැක ගනිමු සුව උවදෙස් රැක එලෙස

තුන් බිය විසාලා පුරවරයට පැමිණි
ජීවිත දහස් ගණනින් සැනින් බිලිවුනි
ලිච්ඡව් රජවරුද අසරණව වැළපුනී
බුදු හිමි දෙසූ දහමින් ලොවම සැනසුනී

බුදු කරුණා දහර තුන්ලොව සව්සතට
හුදු අනුකම්පාව බුදු ගුණ දම් සිතට
ඉඳුරා නගා ගෙන යදිමින් බුදු පිහිට
පින් රැස් කරමු නොගොසින් නිවසින් එපිට

බොදු සමිඳුන් දිවා රෑ යොමුව දම් නැණින්
පිරිත් අසිරි අදිටන් බල සුවඳ පැනින්
නැහැවී අනුන් නහවා කුළුණු මෙත් ගුණින්
කැපවී කොරො නා ජයගනිමු බුදු බණින්

------------

 

රුදු ත්‍රස්තයන් ගියවර උදුරා ගත්ත
බොදු වෙසඟය මෙවර වෛරස ගිල ගත්ත
කුදු මහ බොදුනුවන් නැත තරහක් ගත්ත
බුදු හිමියෙණි, නිවස පන්සල කර ගත්ත

ඉසි, කෝ නොතිබුණිය නිවසේ හැම නිවිලා
දිසි මද, මාන නැත කවුරුත් සිනහ වෙලා
රිසි සිල්, භාවනා, කාමර තුළ කෙරිලා
විසි වෙසඟයට වෛරස නැත බලපාලා

පොරකාලා පහන් පිදුවේ නැත කවුරුත්
වලකාලා අනුන් ඉඩ, නැත මල් තැබුවෙත්
බලකායම ගෙදර සිටි, මීටර දුරටත්
සලකා බලන විට නරකම නැත මෙහෙමත්
------------

 

සිල් ඇත්තෝ සිල් අරගෙන පේලියට
සන්සුන් ගමන් යන කල එක තාලයට
ඒ ලෙස රටම සංවර කර සාමයට
මඟ හෙළි කරනු බැරි ඇයි අද ලෝකයට

පෙරදිග අහසෙ පායන සඳ බලාගෙන
ලොව්තුරු බුදුන් වෙත වන මල් නෙළාගෙන
ගොස් බුදු පුදට සිරිපා මුල වැටීගෙන
සාමය පතමු මුලු ලොවටම සදාතන

මේ මල් වෙසක් පුන් පෝදා අපි එකට
එක බණ මඩුවෙ සිල් අරගෙන යස රුවට
වාද බේද අත හැරදා පෙර ලෙසට
සාමය සොයමු බුදු බණ පොත ගෙන පෙරට

එක පැදුරේ එකට ඉඳගෙන මුළු රටම
බත් කන දිනක් යළි ඒ විද සිතමි මම
ඒ වගෙ දිනක් ආ දවසට අසම සම
බුදු හිමියනේ යළි පා යුග වඳිමි මම

මියගිය පුතුන් වෙනුවෙන් දුක් කඳුළු බොන
අම්මාවරුන් ඇත සිරිලක සියළු තැන
ඒ දූ පුතුන්හට පින් දී පොහොය දින
යළි මේ බිමේ උපදින්නට පතනු මැන

සාමය උදා වන තුරු මගෙ මව්බිමට
මේ ලෙස හැලේ ලේ ගංගාවක් ලෙසට
නෑ සැනසුමක් අත් වන්නේ රටට
සාමය පතා එක්වව් මිනිසුනි එකට

අසරණ රටක අපි අසරණ නොවී ඉමූ
හෙණ ගෙඩි වුණත් අපි උරදී ඉවත ලමූ
නැති බැරි කමට එරෙහිව අපි පෙරට එමූ
ඒ මෙහෙවරට ජාතිය එක ගොඩට ගමූ

අකුරට ගොසින් එන මග වෙඩිනැගෙනු එපා
මල් වැනි ළමා ජීවිත තටු සිඳිනු එපා
කුසගිනි රැඳුණු ගම් මැද ගී කියනු එපා
වෙසක් පැතුම එය වේ එය බිඳිනු එපා

--------------

 

සුදු මුදු සඳ රැස් දස අත පැතිරෙනවා
සම්බුදු සුවඳින් මුලු ලොව නැහැවෙනවා
ගෞතම බුදු හිමිි ගුණ සිහි වෙනවා
වෙසක් පොහෝ දින ළඟ ළග එනවා

තොරන කූඩූ නැත මෙවර දිලෙන්නේ
හදවත් තුළ බුදුහිමි වැඩ ඉන්නේ
එදත් අදත් අප සැම රැක ගන්නේ
හිමි දෙසු දහමයි සැනසුම වන්නේ

බුදු රැස් පැතිරුණු මේ ලක් පොළොවේ
හිමි දෙසු දහමයි ලොව ජය ලැබුවේ
බුදු ගුණ බලයෙන් දුක් නිවුණාවේ
මනුසත්කම මිනිසට ලැබුණාවේ
--------------

 

මනු සතුන් මැදුරු තුළ සිරගතව
යානාද ගාල් කල තැන් වලම
නොයෙක ඉන්ධන දැවෙන දුම් නැතිව
හාත්පස වා මඬල පිවිතුරුව..
.
නිල් අහස විදුරුමිණි සේ පෙනෙන
ඕසෝන් වියන පිළිසකර වන
ඉතින් මේ සුපිරිසිදු වා තලෙන
එකම හුස්මක් ගන්න පිං නැතිද..?

කළු පාට දුම් පිරුණු වා මඬල
උරා පෙනහළු පුරා නිදහසින
තමා කැපු නරවලේ වැටෙන්නට
නොවී බාධා එදා මනු කැලට..

වා තලය සුපිරිසිදු යැයි කියන
කොරෝනා අපව සිර කල මෙදින
නිදහසේ උරා ගනු බැරි ලෙසින
බැඳුණි මුකවාඩමක් මුව වසන..

සොබා දම් මෑණියනි, කිම මෙලෙස
කරනු සරදම් ඔබේ දරුවනට
සමාවී සිරගෙයින් මුදවන්න
යළිත් නොසිතමු ඔබව රිදවන්න.

--------------

 

කොරෝනාව අබියස
හිමි තෙමඟුල අසදිස
උදා වුවත් පෙර ලෙස
පුදනු කෙලෙස රිසි ලෙස

රෝබිය රට දස අත
දුබික් බියත් හිස මත
රකිනු නොහැක පිළිවෙත
යොදවා සිත ගත සිත

ආසාදිතයන් ගැන
නොසිතු මරණ සිදුවෙන
වකවානුවෙ එන දින
බියකරු බව මතුවන

වයිරස සැම වැනසෙන
ජනතා සුව සලසන
නිවෙසේ පහන් දැල්වෙන
මුදු මඟුලක් පළවන

කුසලට මුල්තැන දෙන
කොරෝනයා පැන යන
මඟුල වෙසඟ සනසන
සුවදේ මැද තිසරණ

තුන පසුවන අදියර
උදා නොවී බියකර
දෙන උපදෙස් ගුරු කර‍
පුදමු වෙසඟ හරසර

------------

 

ගහකොල සතා සීපාවුන්
නසනු එපා
අනෙකා මරා හෝ රුපියල්
සොයනු එපා
ලද දෙය මිසක අන්සතු දේ
ගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස
ජීවත් වෙන්න එපා

ලෝකය නසන
රෝබිය දුක් දුරුවේවා
මොහඳුර මැකී
මෙත් දහරා පැතිරේවා
සදහම් ගුණය
හැමහදකම රජවේවා
තෙරුවන් බෙලෙන්
ලොව සුවපත්වේවා

--------------

 

දිඳුලන සිතැඟි තරු පස් පව් අඳුර මැකී
පවතින සරණ මඟ තෙරුවණ දිවිය රකී
දෙසවන රඳන සිරි සඳහම් අමර වැකී
සනසන තුන් සිතින් දෙලොවම දිනිය හැකී

ගන් වන අරුත සම්බුඳු පද ළඟින් සිටත්
පෙන් වන සුමඟ යන පිළිවෙත නිවන් ගෙටත්
පන්සිය පනස් ජාතක පොත් වහන්සෙටත්
කන් දෙනු දවස් තුන්සිය හැට පහෙන් පිටත්

සිදු වන පෙරළි මත උගලා පිටස්තර
විදු නැණ උඩින් අලවා පුහු පැලැස්තර
බුදු බණ අරුත හිතු මතයේ වෙනස්කර
බුදු වන සුතට විඳ කිම පල දහස්වර

තර ගය මුදල මත ඇඳහිලි රජ වීම
බර පතළවම ගුණ නැණ දෙක පිරීහීම
අර මුලලක් වටා පිං කැට තෙරපීම
දුර දිග සිතිය යුතු බුදු බණ විකිණිම

මැදහත් ගමන පිළිබඳ අරි අටැඟි මඟ
සිඳුහත් සිරිත අනුගමනය ඉහල නැඟ‍
පිළිවෙත් පුරන බුදු වදනේ හරය ළඟ
හදවත් සතුටු පිනි දියරෙකි නිමල ගඟ

දැන් යන ගමන් මඟ තරගෙය අර ඇන්ද
පින් කද ඉහල යන වැනුමේ ගුණ කන්ද
තුන් සිත පල දරයි රිටි අග දද බැන්ද
පින් කෙත වැපිරුමට තනිවම පුළුවන්ද

---------------

 

තනි තනිවම ඉන්නට පෙලබේයා
මුණිවත මුව වැස්මෙන් සුරැකේයා
ගිනි ගත් ලොව ගිනි සිසිල කෙරේයා
අනියත බව හැමතැන පළවේයා

සත් වග මස් උදෙසා නොමැරේයා
සිත් ලෙස උන් තැන තැන හැසිරේයා
මත් පැන් මත් කුඩු අවම කෙරේයා
ලත් දේකින් සැනසි සැතපේයා

අටසිල් නොගෙනම සිල් සුරැකේයා
රට තොට ලොව නිහඬව පැවතේයා
සටනට අවි එකිනෙක නොගැටේයා
ගෙට එන මරණය දැක බියවේයා

දන් පින් කෙරෙහිම සිත් යොමුවේයා
සන්සුන් බවකින් කල් ගතවේයා
දැන් දැන් මරු ඒදැයි බියවේයා
උන් උන් වෙන් වෙන් වී ගැවසේයා

දිය දහමට මිනිසා පැරදේයා
ගිය පියවර ආපසු හැරවේයා
රැය දහවල යළි ලොව තනිවේයා
සිය සිය ගුණයෙන් බිය පැතිරේයා

කොරෝද ඉසිකෝ මන් වියැකේයා
විරෝදතා පෙර මෙන් නොපෙනේයා
කෝරෝනා කොරෝනා යැයි ජපවේයා
නිරෝද සමවත සමවන් සේයා

තම තම කටයුතු පිණිස යෙදේයා
හැම අකුසල් දුසිරිත් වැලකේයා
සුමඟට පිවිසෙන දොරටු ඇරේයා
තෙමඟුල අලුතෙන් පැමිණිය සේයා

------------

 
බණ පද සුළඟේ දැවටී
සන්සුන් බෝපත් මත අතුරනවා

වැලිමළු පුරා සක්මන් කර
දස අත සිල් සුවඳින් පුරවනවා

බෝසත් සිරිත මහ පිරිත වගේ
මල් අසුනේ සුවදෙනවා

මේ වෙසඟේ රැස් විහිදූ බුදු වදනින්
ලෝසත සුවපත් වෙනවා

-------------

 

ඉදුරන් තව තවා වුණු තැන් වල නතර
කදුළෙහි පවා තෙතමනයක් නැති අතර
බුදු හාමුදුරුවනි, මම මේ වැලි කතර
නුදුටිමි අමා මහා නදියක් ඔබ විතර