පුබුදින මල් කැකුලක් නම්
පිනි දිය සොයමින් යදිනා
ගෙන එන්නම් සිහිලස මම
ගගුලක් විලසින්….

හඩනා මුව පැටවෙක් නම්
මවු කිරි සොයමින් යදිනා
සනසන්නම් හිස පිරිමැද
හැම සුව ගෙනෙමින්….


සීත මීදුමෙන් වෙලිලා
සියොලඟ වෙවුලුම් කවනා
නුඹට පුදන්නම් උනුහුම
රැකවල් සදමින්….

දස දහසක් නෙතු අද්දර
ගැරහුම් ලබනා දින නුඹ්
සනසන්නම් සොඳුරිය මා
සෙනෙහස පුදමින්….

අත්තටු නැතිදා කිරිලිය
පියඹන්නට වෙර දරනා
සියොලඟ දවටා නුඹ මම
ගෙන යමි සතුටින්….

ජීවිතයේ අරුත සොයා
අදුරේ නුඹ තනි වූ දා
එලිය ගෙනෙන්නම් සැම දින
පහනක් විලසින්….

වරදක් වී නුඹ දෑතින්
ලොවම එරෙහි වී සිටියත්
මියුලැසියේ ආදරයෙන්
පිලිගමි දෝතින්….

නුඹේ ලඟින් හිඳිනා සඳ
බලා හිඳින්නම් ලබැඳිව
ඈත් එපිට ආකසේ
තරුවක් විලසින්….

මවු සිය පුතු දැඩි කරවා
තුටු වන විලසින් සැමදා
මතු දින නුඹ පිලිගන්නම්
දියනියක ලෙසින්….

පෙම් බස් දහසක් නොකියා
සිතුවිලි පොදි බැඳ හිඳිනා
මගේ කඳුලු සඟවන්නම්
සොඳුරිය මෙලෙසින්….

හිතට බොරු කියා සැනසෙන
හදකි ගොලු බසින් මුමුනන
නුඹේ සිසිල තවමත් මට
සුවයක් ගෙනෙමින්….

දිවි කතරේ එක මොහොතක්
නුඹේ ලොවට එලිය දෙන්න
පායන්නට අවසර නැත
හිරු සඳු විලසින්….

ඉඟ සලු ඉවතට විසි කර
සියොලඟ සිප සැනසුවාට
අන් හදකට මගෙ ආලය
පුදනෙමි කෙලෙසින්?

දින දින වෙන් වී සිටියත්
ලන්වේ හදවත තවමත්
අද ගෙවෙනා හැම මොහොතම
නිහඬව හිඳිමින්….